(නිව්යෝර්ක්හි දී) – විශේෂයෙන් යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන්නැයි ඉල්ලා සිටින කොටස් ඇතුළු මානව හිමිකම් ක්‍රියාධරයන් සහ මාධ්‍යවේදීන් වෙත රජය විසින් එල්ල කරන පීඩනය 2014 දී තවදුරටත් වර්ධනය වී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය අද නිකුත් කළ 2015 ලෝක වාර්තාව (World Report 2015) සඳහන් කරයි. 2009 වර්ෂයේ සිදු වූ අවසන් හමුදා මෙහෙයුම් වල සි‍ට සිදු වූ අත්තනෝමතික සිරභාරයට ගැනීම්, බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදන් කිරීම් සහ ඝාතනය කිරීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා 2015 වර්ෂයේ ජනවාරි මස බලය‍ට පත් වූ රජය නියෝග කල යුතුය.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය රටවල් 90 කට වැඩි ගණනක මානව හිමිකම් භාවිතයන් පිළිබඳ විමසුමක් ස්වකීය ලෝක වාර්තාවේ 25 වැනි සංස්කරණයේ 656- පිටුවේ ඉදිරිපත් කර ඇත. ව්‍යාකූල කාලවල ඵලදායී සදාචාරාත්මක මාර්ගෝපදේශයන් මානව හිමිකම් මගින් ලබාදෙන බව සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මගින් ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අභියෝග ඇති කිරීම හෝ වර්ධනය කිරීම සිදුකරන බව පිළිගන්නා ලෙස විධායක අධ්‍යක්ෂ කෙනත් රොත් (Kenneth Roth) සිය හැඳින්වීම මගින් ආණ්ඩුවලින් ඉල්ලා සිටියි. නිදහස හා වෙනස් කොට නොසැලකීම පිළිබඳ මූලික සාරධර්ම යටපත් කිරීමේන් ලබා ගතහැකි කෙටි කාලීන වාසි, දිගු කාලීනව ලැබෙන අයහපත් ප්‍රතිඵල හා සසඳන කල ඵලදායි නොවේ.

ලෝක වාර්තාව සකස් කර අවසන් වූ පසුව තෝරා පත් වූ ශ්‍රී ලංකාවේ නව රජය විසින් නිදහස් ප්‍රකාශනය සහ වෙනත් අයිතීන් වැඩිදියුණු කිරිම සඳහා වැදගත් ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇත: අවහිර කර තිබූ වෙබ් අඩවි නැවත යථා තත්ත්වයට පත් කර ඇත, මාධ්‍ය වාරණය බොහෝ දුරට ඉවත් කර ඇති අතර 2009 වර්ෂයේදී සිදු කරන ලද ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් නැවත විමර්ශනය කිරීම සඳහා නියෝග කර ඇත. ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ඔත්තු බැලීම සහ පීඩනය එල්ල කිරිම නවතා ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස භාවිතා කරමින් රඳවාගෙන සිටින රැඳවියන්ගේ ලැයිස්තුවක් සමාලෝචනය කිරීම සඳහා රජය විසින් ඉල්ලා ඇත.

2009 වර්ෂයේදී අවසන් වූ දෙමළ ඊළාම් කොටි කැරලිකරුවන් සමඟ පැවති ආයුධ සන්නද්ධ ගැටුමේදී සිදු වූ යුද අපරාධ සඳහා වගවීමක් ලබාදීමේ පොරොන්දුව ඉටු කිරීම‍ට පසුගිය මහින්ද රාජපක්ෂ රජය අසමත් වි‍ම හේතුවෙන්, ගැටුමට සම්බන්ධ පාර්ශවයන් දෙක විසින්ම සිදු කරන ලද අන්තර්ජාතික මානව හිමිකම් සහ මානවවාදී නීති තදබල ලෙස උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීම සඳහා මානව හිමිකම් සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ මහ කොමසාරිස්වරයාට බලය පවරමින් 2014 මාර්තු මස 27 වැනි දින යෝජනාවක් සම්මත කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම‍ට අවස්ථාව ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා රජය වහාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මාර්තු මස යෝජනාව ප්‍රතික්ෂේප කරන ලද අතර ර‍ජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් කිහිප දෙනෙක් එක්සත් ජාතීන්ගේ විමර්ශනය සඳහා සහයෝගය දක්වන පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව‍ට තර්ජනය කරන ලදී. මානව හිමිකම් කොමිසම සමඟ ක‍ටයුතු කරන බවටත් වගවීම සහ යුක්තිය සහතික කිරීම සඳහා පියවර ගන්නා බව‍ටත් නව රජය ප්‍රකාශ කර ඇත.

"ශ්‍රී ලංකාවේ දිගු කලක් තිස්සේ පැවති සිවිල් යුද්ධයේ කුරිරු ක්‍රියාවලට ගොදුරු වූ දෙපාර්ශවයේ ජනතාවට සැබෑ ලෙස යුක්තිය ඉටු කරන පළමු බලාපොරොත්තුව එක්සත් ජාතීන්ගේ විමර්ශනය," යයි හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් Brad Adams, කියා සිටියි. "ශ්‍රී ලංකා රජය යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් දක්වන විරෝධයේ ගැඹුර එක්සත් ජාතීන්ගේ විමර්ශනය රජය විසින් ප්‍රසිද්ධියේ හෙලා දැකීමෙන් සහ යුද අපරාධවල සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම මගින් පැහැදිලි වේ," යයි ඔහු පවසයි.

ආණ්ඩුව දෙමළ ජනතාව බහුතරයක් ජීවත් වන උතුරු ප්‍රදේශයේ දැඩි සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කළ අතර, ප්‍රශ්න කිරීම සඳහා ක්‍රියාධරයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට හෝ රැඳවුම් භාරයට ගන්නා ලදී. උතුරේ මාධ්‍යවේදීන් පුහුණු කිරීමට දකුණේ සංවිධානය කළ වැඩමුළු ආරක්ෂක හමුදා විසින් බලහත්කාරයෙන් අත්හිටුවා සහභාගීවුවන්ට නිවෙස්වලට යන ලෙසට නියෝග කරන ලදී.

2014 දි, උග්‍ර ජාතිවාදී බෞද්ධ සංවිධාන ආගමික සුළුතරයන් හෙලාදකිමින්, මුස්ලිම් ජනතාව වැඩියෙන් වෙසෙන දකුණේ නගරයකට පහර දෙන ලෙස බෞද්ධ බහුතරය පෙළඹවීමෙන්, අවම වශයෙන් මුස්ලිම් ජාතිකයන් 4 දෙනෙකු මියගොස් තවත් 80 කට පමණ තුවාල සිදු වූ අතර බොහෝ මුස්ලිම් වැසියන්ගේ දේපලවලටද හානි සිදුවිය. වහාම ප්‍රචණ්ඩත්වය හෙළා දුටු රජය අත්අඩංගුවට ගැනීම් කිහිපයක් කඩිනමින් සිදුකළ ද, ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම් කළ බව සිතිය හැකි කිසිවෙකුට එරෙහිව පියවර ගෙන නැත.

“රාජපකෂ ආණ්ඩුවේ” “යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව යළි පදිංචි කිරීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට පශ්චාත් යුද සමයේ රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට දෙමළ ජනතාවට එරෙහිව සිදුකරන පීඩනය නිසා දැඩි ලෙස බාධා පැමිණ තිබේ,” යයි ඇඩම්ස් කියා සිටියි. “සියලු දෙනාට, විශේෂයෙන් සුළු ජාතීන්ට සහ ආණ්ඩුව විවේචනය කරන්නන්ට, යුක්තිය සහ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා දිගු මාවතක පියවර මැනීමට තිබේ,” යයි ද ඔහු පවසයි.