Skip to main content

ශ‍්‍රී ලංකාව: විනාශකාරී බදු ප‍්‍රතිපත්ති අසමානතාවයන් උග්‍ර කරයි.

අධ්‍යාපනය හා අනෙකුත් වැදගත් රාජ්‍ය සේවාවන් සඳහා වූ වියදම් කප්පාදුවට එය මඟපාදයි

2025 පෙබරවාරි 14 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවයකදී ඉදිරි අයවැයෙන් සහන ඉල්ලා රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විරෝධතා පුවරු ඔසවා ගෙන සිටින අයුරු.  © 2025 චමිල කරුණාරත්න /EPA-EFE/Shutterstock
  • ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්ති 2022 වසරේ ඇතිවූ විනාශකාරී ආර්ථික අර්බුදය තුළ ගාමක කාර්යභාරයක් ඉටු කළ අතර අධ්‍යාපනය සහ අනෙකුත් රාජ්‍ය සේවාවන් සඳහා අඛණ්ඩ අරමුදල් කප්පාදුවට ද දායක විය.
  • ආයතනික අංශය (corporate) වෙත ලබා දී තිබෙන බදු නිදහස් කිරීම්වල පිරිවැය අධික වන අතර, එහි ඵලදායිතාවද ප්‍රශ්නකාරී වේ. තවද, මෙම බදු ක‍්‍රමය ඉතා පහසුවෙන් අවභාවිත කළ හැකි තත්ත්වයක්ද පවතී. එම නිසා ආයතනික අංශයට ලබා දී තිබෙන මෙම බදු නිදහස් කිරීම් ඉවත් කිරීමටත්, වෙනත් ප‍්‍රගතිශීලි බදු ක‍්‍රමයන් හඳුන්වා දීමටත් රජය අවධානය යොමු කළ යුතුය.
  • ශ‍්‍රී ලංකාවේ තත්ත්වය වත්මන් ජාත්‍යන්තර බදු ක‍්‍රමය යටතේ බොහෝ රජයන් මුහුණපාන අභියෝගයන් පිළිබිඹු කරයි. එය මානව හිමිකම් සුරක්ෂිත කළ හැකි ආකාරයෙන් ජාත්‍යන්තර බදු රීති ඇති කිරීම සඳහා දැනට සිදුවන එක්සත් ජාතීන්ගේ (UN) සාකච්ඡාවල වැදගත්කම පෙන්වා දෙයි. 

(2025 ඔක්තෝබර් 15 දින, කොළඹ) - ශ‍්‍රී ලංකාවේ බදු ප‍්‍රතිපත්ති, 2022 වසරේ රටේ සිදු වූ දරුණු ආර්ථික අර්බුදයේදී එය දිරිගන්වන කාර්යභාරයක් ඉටුකළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපනය හා අනෙකුත් රාජ්‍ය සේවාවන් සඳහා වෙන් කරනු ලබන ප‍්‍රතිපාදන අඛණ්ඩව කප්පාදු කිරීමකට ලක් වී ඇති බව අද නිකුත් කරන ලද වාර්තාවක හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) ආයතනය සඳහන් කර ඇත. එය තව දුරටත් අවධාරණය කරන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව සිය මානව හිමිකම් බැඳීම් ඉටු කිරීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු අතර, දැනට සමාගම් සහ ධනවත් පුද්ගලයින්ට වාසි ලබා දෙන නමුත් ප්‍රමාණවත් ආදායම් ලබාදීමට අසමත් බදු ක්‍රමයට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවයි.

අසීමිත බදු සහන සහ අඩපණ වූ පාසල්: අඩු බදු ප‍්‍රතිශතයන් ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මපෑදූයේ කෙසේද සහ අධ්‍යාපනයෙන් රට දිනාගෙන සිටි ප‍්‍රමුඛ ස්ථානය විනාශ කළේ කෙසේද? යන්න පිටු 101 සමන්විත මෙම වාර්තාව මගින් පෙන්වා දේ. ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ මෙතෙක් බලයට පැමිණි සෑම රජයක්ම, රාජ්‍ය ආදායම අඩු කිරිමට හේතු වූ ප‍්‍රතිපත්ති අනුගමනය කළේ කෙසේද යන්නත්, එය ශ‍්‍රී ලංකාව සිය ණය මුදල් ආපසු ගෙවීම් පැහැර හරින තත්ත්වයට පත්වීමට පමණක් නොව, දළ දේශීය නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් වශයෙන් නිදහස් අධ්‍යාපනයට වැය කරන මුදල් දශක කිහිපයක් තිස්සේ පහත වැටීමට දායක වූ ආකාරය ද මෙම වාර්තාව පෙන්වා දෙයිි. මෙසේ අධ්‍යාපනයට වෙන්කරන මුදල් අඩුවීම, ලෝකයේ ශ‍්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා අවම වියදම් වෙන් කරන රටවල් අතරට වැටීමට හේතු වී ඇත. තවද, මෙම වියදම් කප්පාදුව අධ්‍යාපනය සඳහා වූ ළමයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආකාරයද මෙම වාර්තාව පෙන්වාදෙයි. ආයතනික බදු හා පුද්ගලික බදුවලින් ලැබෙන ආදායම් පහළ මට්ටමක පවතින නිසා බදු ආදායම්වලින් 80% ක් පමණ භාණ්ඩ හා සේවා බදු හරහා ලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, ඉන් දිළිඳු ජනතාවගේ ආදායමෙන් වැඩි කොටසක් බදු වශ‌යෙන් ලබා ගැනීම ප්‍රතිගාමී පසුබිමක් නිර්මානය කර ඇත. 

‘‘ ශ‍්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ රජයට ආදායම අහිමි කරන ආර්ථික ප‍්‍රතිපත්තියක සහ දළ දේශීය නිෂ්පාදනයේ අවම වර්ධනයක සිරවී සිටී’’ යනුවෙන් හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) ආයතනයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික යුක්තිය පිළිබඳ පර්යේෂක සාරා සාඩූන් පවසයි. ඇය තවදුරටත් පවසන්නේ ‘‘ ප‍්‍රායෝගිකව, ඉන් අදහස් වන්නේ ආර්ථික වර්ධනයට සාපේක්ෂව අධ්‍යාපනය සඳහා වූ වියදම් බොහෝ සෙයින් පහළ මට්ටමක පවතින අතර, එය රාජ්‍ය අධ්‍යාපනයේ ශ්‍රී ලංකාව දැරූ ගෝලීය නායකත්වය අහිමි කිරීමට හේතු වී ඇති බවයි.

මෙම අධ්‍යනයේදී, හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) ආයතනය ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ පුද්ගලයන්, රාජ්‍ය අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳ මනා දැනුමක් තිබෙන පුද්ගලයන් හා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල ආර්ථික විශේෂඥයින් ඇතුළුව පුද්ගලයන් 70 ක් පමණ සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීය. තවද, ශ‍්‍රී ලංකාවේ බදු ප‍්‍රතිපත්ති හා අධ්‍යාපනය සඳහා වූ ප‍්‍රතිපාදනවලට අදාළ දත්ත හා පර්යේෂණ පිළිබඳව එම ආයතනය විසින් විස්තරාත්මක විශ්ලේෂණයක්ද සිදු කරන ලදී.

මෙම ප්‍රතිපත්තිමය අසාර්ථකත්වයන් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කර ඇති බව හියුමන් රයිට්ස් වොච් ආයතනය මෙම පර්යේෂනයෙන් සොයා ගත්තේය. ශ‍්‍රී ලංකාව පශ්චාත් යටත්විජිත රටවල් අතර අධ්‍යාපනයේ කැපී පෙනෙන ජයග‍්‍රහණයන් ලබා සිටි අවදියේදී, එනම් නිදහසින් පසු දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3 ත් 5 ත් අතර ප්‍රමාණයක පැවතුණි. නමුත් 2022 වන විට ලෝකයේ අවම ප්‍රතිපාදන අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන රටවල් අතරට වැටෙමින් මෙය 1.5% දක්වා පහත වැටුණි.

අඩු බදු ආදායම් 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව සිය ණය පැහැර හැරීමට ද දායක වූ අතර, එය පුළුල් රැකියා හා ආදායම් අහිමි වීම් සහ ජීවන වියදම්වල තියුණු වැඩිවීමක් ඇතුළුව ආර්ථික අර්බුදයක් ඇති කළ අතර එය මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වන තත්ත්වයක් නිර්මාණය කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා 2019 වසරේ විශාල ප්‍රමාණයේ බදු කප්පාදු හඳුන්වා දුන් අතර, එය රජයේ ආදායම් කෙරෙහි අනර්ථකාමි දැඩි බලපෑමක් එල්ල කළේය. තවද, හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) ආයතනය සොයා ගත්තේ 1970 ගණන්වල අග භාගයේ ශ‍්‍රී ලංකාව සමාජ සුභසාධන අංශ සඳහා කරන වියදම්වල ප‍්‍රමුඛතාවය ඉවත්කර, වෙළඳාම ලිබරල්කරණය කළ අවස්ථාවේ මෙම ප්‍රශ්නය ආරම්භ වූ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳාම සහ අනෙකුත් බදු තියුණු පහත වැටුනු අතර, ඉන් පසුව ඇති වූ වර්ධනයෙන් නිසි ලෙස ප්‍රතිලාභ ලබන ප්‍රගතිශීලී බදු ක්‍රමයක් ප්‍රතිස්ථාපනය නොවීය.

විශේෂයෙන් බොහෝ දුරට අවභාවිතයට ලක් කළ හැකි අපැහැදිලි ක්‍රමවේදයක් මගින් රජය සමාගම්වලට අඛණ්ඩව පුළුල් බදු සහන ලබාදීමේ ක‍්‍රමය ආරම්භ කළේය. 2022 වසරේදී එම බදු සහනවල මුළු පිරිවැය රාජ්‍ය ආදායම්වලින් 56% කට හෝ අධ්‍යාපනය සඳහා කරන වියදම මෙන් තුන් ගුණයක් පමණ ප‍්‍රමාණයකට වැඩි විය. තවද, ආණ්ඩුව පුද්ගලික ආදායම් සහ වත්කම් වලින් කුඩා බදු ප්‍රමාණයක් පමණක් එකතු කරන අතර බදු එකතු කරන ආයතනවලට බදු බලාත්මක කිරීම සඳහා අවශ්‍ය ධාරිතාව සහ වගවීම තිබේදැයි සහතික කර නොමැත.

සමාජ සුභසාධන වියදම් සඳහා ප‍්‍රමුඛතාව ඉවත් කර තිබෙන පසුබිම තුළ මෙම වාර්තාව අධ්‍යාපනය කෙරෙහි ඉහළ මට්ටමක අවධානයක් යොමු කරයි. කලක් ශ‍්‍රී ලංකාව අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගෝලීය නායකත්වය ඉසුලූ රටක් වශයෙන් නම් දරා සිටියද, වර්තමානයේ එම ක්ෂේත‍්‍රයේ වැදගත්කම සම්පූර්ණයෙන් නොසලකා හරින තත්ත්වයක් නිර්මාණය වී තිබේ. නමුත්, බහුතර ජනතාවට නිදහස් ප‍්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හඳුන්වා දුන් ලෝකයේ පළමු රටවල්වල ශ‍්‍රී ලංකාවද එකක් විය.

හියුමන් රයිට්ස් වොච් ආයතනය පවසන්නේ අඩුවන අධ්‍යාපනය සඳහා වන වෙන් කිරීම් හේතුවෙන් පාසල්වල මූලික සම්පත් සඳහා වන පිරිවැය පියවා ගැනීම සඳහා ගාස්තු අය කිරීමට සිදු වී ඇති බවත්, එය බොහෝ පවුල්වලට සැලකිය යුතු දුෂ්කරතා ඇති කරන බවත්ය. රාජ්‍ය අධ්‍යාපනය සඳහා ප‍්‍රමාණවත් ලෙස මුදල් වෙන් නොකිරීම සිසුන්ගේ සමාජ - ආර්ථික තත්ත්වය පදනම් කරගෙන සම්පත් බෙදා හැරීමේදී විශාල විෂමතාවයන් ඇති වීමට මඟපාදා ඇත. එසේම, අඩු ආයතනික සහ පුද්ගලික බදු ආදායම් නිසා රජය දුප්පත් ජනතාව මත බර පටවන අගය එකතු කළ බද්ද (VAT) වැනි "වක්‍ර බදු" වල දැඩි ලෙස රඳා පැවතීමට හේතු වී තිබේ.

සුසිකලා හැටන් ප‍්‍රදේශයේ තේ වත්තක ජීවත්වන ගෘහස්ථ සේවිකාවක් වේ. සතියකට දින 7 ක් වැඩ කිරීම තුළින් තමා මසකට ශ‍්‍රී ලංකා රුපියල් 14,000 ($46) ක මුදලක් උපයන බව ඇය පවසයි. පාසලේ විවිධ ගාස්තු ගෙවීමට ඇය මසකට රුපියල් 500 ක් (US$1.65) වෙන්කළ යූතු අතර, ඇයගේ දරුවන් දෙදෙනාට පාසලෙන් පිට අමතර පන්තිවලට යෑම සඳහා මාසිකව රුපියල් 5,000 ($16.50) ක මුදලක් අවශ්‍ය බවත්, එම ගෙවීම් කිරීමට තමාට නොහැකි බවත් ඇය කියා සිටී. ‘‘ පොත්පත් හා කොළ අවශ්‍ය බව ගුරුවරුන් කියන විට මට ඒවා මිලදී ගැනීමට නොහැකිය. මගේ දරුවන්ට පෝෂ්‍ය ආහාර ලබාදීමත් මට ගැටලුවක් වී තිබේ’’ යනුවෙන් ඇය පවසයි.

2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක ණයක් අනුමත කළ අතර ණය හිමියන් රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟවිය. නමුත් එහි ණය සේවා බැඳීම් ඉතා ඉහළ මට්ටමක පැවතුනි. 2024 වර්ෂයේ රාජ්‍ය ආදායමින් 57%ක් ණය ගෙවීම සඳහා යෙදවීමට රජයට සිදුවිය. 2025 ජනවාරි මාසයේදී, ප්‍රතිගාමී බදු අඩු කිරීම සහ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම ඇතුළු පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ පොරොන්දු වූ ප්‍රචාරණයකින් පසුව දිසානායක මහතාගේ ජාතික ජන බලවේගය (NPP) බලයට පත් විය.

හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) ආයතනය පවසන්නේ, ආයතනික අංශය වෙත ලබා දී ඇති බදු සහන, එහි ඉහළ පිරිවැය, ප්‍රශ්නකාරී ඵලදායිතාවය සහ පහසුවෙන් අවභාවිත කළ වීම යන තත්ත්වයන් සලකා රජය එවැනි බදු නිදහස් කිරීම් යලි සලකා බැලිය යුතු බවයි. තවද, හියුමන් රයිට්ස් වොච් යෝජනා කරන්නනේ ධනය මත බදු අය කිරීම වැනි අනෙකුත් ප‍්‍රගතිශීලී බදු පියවරයන්ද රජය අනුගමනය කළ යුතු බවයි.

ශ‍්‍රී ලංකාවේ තත්ත්වය වත්මන් ජාත්‍යන්තර බදු ක‍්‍රමය යටතේ බොහෝ රජයන් මුහුණපාන අභියෝග පිළිබිඹු කරයි. නිදසුනක් ලෙස බදු සහන ලබාදීම පිළිබඳව පවතින තරඟය බොහෝ රජයන් බදු දිරිගැන්වීම් ලබාදීමට පොළඹවන අතර, එම දැඩි තරඟය අවසානයේ මානව හිමිකම් ඉටුකිරීම සඳහා අවශ්‍යවන ආදායම් අහිමිවන තත්ත්වයක් ඇති කරයි. මෙම අභියෝග, මානව හිමිකම් මගින් ශක්තිමත් කරනු ලබන ජාත්‍යන්තර බදු රීති හඳුන්වාදීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ගිවිසුමක් සඳහා දැනට සිදුවෙමින් තිබෙන සාකච්ඡාවල වැදගත්කම පෙන්වා දෙයි. රටවල් අතර සහයෝගීතාවය වැඩිදියුණු කිරීම මගින් මෙම සෘණාත්මක චක‍්‍රය අවසන් කිරීම සඳහා රජයන්ට හැකියාව ලැබෙනු ඇත.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ සෞඛ්‍යය, අධ්‍යාපනය, සමාජ ආරක්‍ෂණය, ප‍්‍රමාණවත් ජීවන තත්ත්වය සඳහා වූ අයිතිවාසිකම් හා අනෙකුත් ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතීන් ක‍්‍රමානුකූලව සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍යයන් ‘‘තමන් සතුව තිබෙන සම්පත් උපරිමයෙන්’’ යෙදවීමට බැඳී සිටිති. රාජ්‍යයන් තනි තනි වශයෙන් කටයුතු කිරීමට බැඳී සිටිනවා පමණක් නොව, ජාත්‍යන්තර සහාය හා සහයෝගය හරහාද එසේ කළ යුතුව ඇත. මෙය අත්‍යවශ්‍යයෙන්ම රාජ්‍යයන්වල මුල්‍ය භාවිතයන් හා බදු ප‍්‍රතිපත්ති දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් බව පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකාවේ නව රජය අධ්‍යාපනයට අදාළ වියදම් සඳහා සහාය වීම පිණිස සමහර පවුල්වලට රුපියල් 6,000 ($20) ක සහනාධාරයක් ලබාදීම වැනි ධනාත්මක පියවරයන් කිහිපයක් ගෙන ඇත. එය රජය අධ්‍යාපනය සඳහා වැය කරන අයවැය ප‍්‍රතිපාදන සුළු ප‍්‍රමාණයකින් පමණක් වැඩි කිරීමට හේතු වී ඇත. අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 සිට 6 දක්වා ජාත්‍යන්තරව එකඟ වූ මිණුම් ලකුණට ළඟා වීමේ ඉලක්කය ඇතිව, අධ්‍යාපන අයවැය වැඩි කිරීම දිගටම කරගෙන යා යුතු බව හියුමන් රයිට්ස් වොච් මෙම වාර්තාවෙන් අවධාරනය කරයි. තවද, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය තම මානව හිමිකම් බැඳීම් ඉටු කිරීම සඳහා කඩිනමින් පියවර ගත යුතු අතර, ප්‍රමාණවත් ආදායමක් ලබාදීමට අපොහොසත් වන වර්තමානයේ සමාගම් සහ ධනවතුන්ට අනුග්‍රහය දක්වන බදු ක්‍රමය සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුය.

‘‘ශ‍්‍රී ලංකා ආර්ථිකයේ පවතින ගැටළු සහගත තත්ත්වය, මානව හිමිකම් ඉටුකිරීම සඳහා වර්ධනය පමණක් ප‍්‍රමාණවත් නොවන බව පැහැදිලිව පෙන්වා දෙනවා’’ යනුවෙන් සාඩූන් පැවසීය. ‘‘රජය අවසානයේ ප්‍රගතිශීලී බදු ක්‍රමයක් ස්ථාපිත කළ යුතු අතර, සියලු ශ්‍රී ලාංකිකයින්ට ප්‍රතිලාභ ලබා දෙන අධ්‍යාපනය සහ අනෙකුත් රාජ්‍ය සේවාවන් සඳහා ප්‍රමාණවත් අරමුදල් සපයන පරිදි එහි ආදායම භාවිතා කළ යුතුය." යයි තව දුරටත් පවසයි. 

GIVING TUESDAY MATCH EXTENDED:

Did you miss Giving Tuesday? Our special 3X match has been EXTENDED through Friday at midnight. Your gift will now go three times further to help HRW investigate violations, expose what's happening on the ground and push for change.

Most Viewed