(නිව් යෝක්) - ශ‍්‍රී ලාංකික මාධ්‍යවේදියෙකු හා දේශපාලන කාටූන් ශිල්පියෙකු වූ ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන යනු ලද්දේ වසරකට පෙර වුව ද, ශ‍්‍රී ලාංකික බලධාරීන් විසින් බැ?රුම් පරීක්ෂණයක් කෙරෙන බවට කිසිත් ලකුණක් නොමැති බව හියුමන් රයිට්ස් වොච් අද ප‍්‍රකාශ කළේය. එක්නැළිගොඩ අතුරුදන් වූයේ 2010 ජූනි 24 දින සවස සේවය නිම කර යාමෙන් පසු ව වන අතර, ඒ අවස්ථාවේ සිට අතුරුදන්ය.
 
එක්නැළිගොඩ ප‍්‍රසිද්ධියට පත් ව සිටියේ ශ‍්‍රී ලංකා ආණ්ඩුව විවේචනය කරමින් ඔහු නිර්මාණය කළ කාටූන් සම්බන්ධයෙනි. කාටූන් ප‍්‍රසිද්ධියට පත් කරන ලද්දේ ඉංග‍්‍රීසි, දෙමළ හා සිංහල භාෂාවන්ගෙන් පළ වන ප‍්‍රවෘත්ති වෙබ් අඩවියක් වන ලංකා-ඊ-නිවුස් විසින් වන අතර, එය විරුද්ධ පාර්ශ්වික ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ* සමග සම්බන්ධ යයි සාමාන්‍යයෙන් සැලකේ.
 
මීට පෙර 2009 අගෝස්තු මාසයේ දී ද එක්නැළිගොඩ පැහැර ගෙන යන ලද අතර, පසු දින මුදා හරිනු ලැබුණි. ඔහු සිදුවීම් පිළිබඳ ව බලධාරීන්ට වාර්තා කළ නමුත්, පැහැර ගෙන යාම සම්බන්ධයෙන් කිසිවෙකු වග වීමට සලස්වා නොමැත. 2010 ජනවාරි 26 ශ‍්‍රී ලාංකික ජනාධිපතිවරණයට දින දෙකට පෙර එක්නැළිගොඩ බලාත්කාරයෙන් අතුරුදන් කිරීම යනු මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විවේචනය කළ අය ඝාතනය කිරීම, ඔවුන්ට එරෙහි ව ප‍්‍රහාර එල්ල කිරීම හෝ ඔවුන් පැහැර ගෙන යාම පිළිබඳ ව නොවිසඳී ඇති බොහෝ සිදුවීම්වලින් එකකි.
 
මාධ්‍යවලට අඩන්තේට්ටම් කිරීම හා මාධ්‍යවේදීන්ට පහර දීම පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට ඇත. 2009 ජනවාරි 8 දින, විමර්ශනාත්මක වාර්තාකරණය සම්බන්ධයෙන් විශාල ගෞරවයක් දිනා සිටි සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග නාඳුනන පුද්ගලයෙකු විසින් ඝාතනය කරනු ලැබුණි. ඔහුගේ මරණය සම්බන්ධ පරීක්ෂණය කිසිත් ප‍්‍රතිඵලයක් ලබා දී නොමැත. 2009 ජනවාරි මාසයේ දී වෙස් මුහුණු පැලඳි පුද්ගලයන් 15-20ක් විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ස්වාධීන රූපවාහිනී මධ්‍යස්ථානය වන සිරස රූපවාහිනීය විනාශ කිරීම, ආණ්ඩුවට හිතවත් සිංහල භාෂීය සතිපතා පත‍්‍රයක් වන රිවිර පුවත්පතේ කර්තෘ උපාලි තෙන්නකෝන්ට 2009 ජනවාරි මාසයේ එල්ල වූ ප‍්‍රහාරය හා 2009 ජූනි මාසයේ දී මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැහැර ගෙන ගොස් පහර දීම අනෙක් සිදුවීම් අතර තිබෙනුයේය.
 
2010 ජනාධිපතිවරණය අවසන් වූ වහා ම ශ‍්‍රී ලාංකික බලධාරීහු මාධ්‍යෙවිදීන් කීප දෙනෙකු රඳවා ගෙන ඔවුන්ගෙන් ප‍්‍රශ්න කළහ, ප‍්‍රවෘත්ති වෙබ් අඩවි අවහිර කළහ, විදේශීය මාධ්‍යවේදියෙක් රටින් නෙරපුවෝය. යටත් පිරිසෙයින් එක් මාධ්‍යවේදියෙකුට හෝ ප‍්‍රහාරයක් එල්ල කරන ලද අතර, කීප දෙනෙකුට තර්ජනය කරනු ලැබුණි. ශ‍්‍රී ලංකාව තුළ මාධ්‍ය සේවකයන් සම්බන්ධයෙන් පවත්නා අනතුරුදායක හා ඇතැම් අවස්ථාවක මරණීය වාතාවරණය හේතුවෙන් මාධ්‍යවෙදීහු දුසිම් ගණනක් රටින් පිට ජීවත් වෙති.