Skip to main content

ජෝර්දානය​: ගෘහ සේවිකාවන්ගේ ආරක්‍ෂාව සඳහා ඇති විධිවිධාන ප්‍රමාණවත් නොවීම

නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ කලාපීය පුරෝගාමියා ඒවා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වෙයි

(අම්මාන්- 2011 සැප්තැම්බර් 27වෙනි දින) - සංක්‍රමණික ගෘහ සේවිකාවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පසුගිය වසර තුන ඇතුළත හඳුන්වාදෙන ලද  නව නීති විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ජෝර්දානය ක්‍රියාකළයුතු බව හියුමන් රයිට්ස් වොච් සහ නීති ආධාර සඳහාවූ ටම්කීන් මධ්‍යස්ථානය යන සංවිධාන ඒකාබද්ධව අද නිකුත්කළ වාර්තාවක සඳහන්වේ. 2008 සිට හඳුන්වාදෙන ලද නව නීති සහ විධිවිධාන මඟින්, නියමිත පැය ගණනක් සේවයකිරීමේ සහ සතියකට දිනයක් නිවාඩු ගැනීමේ අයිතිය ගෘහ සේවිකාවන්ට ලබා දී, මිනිස් ජාවාරමද නීතිවිරෝධී බවට පත්කොට තිබෙන නමුත්, එම නීති නිසි අයුරින් ක්‍රියාවට නැඟී නැති බව එම සංවිධාන කියාසිටී‍.

ගෘහ සේවිකාවන්ට එරෙහිව සිදුවන අතවර සහ එම අතවර කරන හාම්පුතුන්ට හා ගෘහ සේවිකාවන් බඳවාගන්නා ලද රැකියා ඒජන්තවරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජෝර්දාන බලධාරීන් අපොහොසත්වීමත් පිලිබඳව "ගෘහ සේවයේ ඉරණම: ජෝර්දානයේ නීති, නිළධාරීන්, හාම්පුතුන් සහ සේවයට බඳවාගන්නන් අතවරයට පත්වන සංක්‍රමණික ගෘහ සේවිකාවන්ට සාධාරණය ඉටුකිරීමට අපොහොසත්වීම" යන මැයෙන් යුත් පිටු 111 කින් යුතු වාර්තාවේ සවිස්තරව සඳහන් කර ‍‍‍ඇත. ගෘහ සේවිකාවන් නිවසේ කොටුකිරීම සහ ඇය අත කිසිදු වරදක් නොතිබුණත් නීත්‍යානුකූලව රටේ රැඳීසිටියහැකි කාලසීමාව ඉක්මවා රැඳීසිටි අවස්ථාවල, දඩගැසීම ඇතුළු අතවරවලට ගෘහ සේවිකාවන් ලක්කිරීමට ඉඩප්‍රස්ථාව සපයන ජෝර්දානයේ සංක්‍රමණික සහ ගෘහ සේවය සම්බන්ධ කම්කරු නීතිද, මෙම වාර්තාවෙන් විවේචනයට ලක් කර ඇත.

"ජෝර්දානයේ නීති සංශෝධන මඟින් සංක්‍රමණික ගෘහ සේවිකාවන්ගේ ජීවිතවලට යහපතක් නොසැලසෙන්නේනම්, එම  සංශෝධන, එය සදහන් කර ඇති කඩදාසිය  තරම්වත් වටින්නේ නැතැයි,"  මැදපෙරදිග කටයුතු පිලිබඳ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ  පර්යේෂක ක්‍රිස්ටොෆ් විල්ක් පැවසුවේය. "ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් සුරකින කලාපීය පුරෝගාමියා ලෙස දිගටම රැඳීසිටීමට ජෝර්දානයට අවශ්‍යනම්, රටේ නීති ක්‍රියාත්මක කිරීමට එහි දේශපාලන නායකයන්ට සැබෑ දේශපාලන අවශ්‍යතාවයක් තිබිය යුතු," බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ, ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ සිට පැමිණ දැනට ජෝර්දානයේ සේවයකරන 70,000 ක් වන ගෘහ සේවිකාවන්ගෙන් බොහෝදෙනා කලාපයේ අන් රටවල සේවයකරන ගෘහ සේවිකාවන් මුහුණදෙන ආකාරයේ අතවරවලට ලක්වෙති. පහරදීම, හාම්පුතා විසින් බලහත්කාරයෙන් ගමන් බලපත්‍ර තම භාරයට ගැනීම, නිවසින් බැහැරයාම තහනම් කිරීම, අපහාස කිරීම, වේතන නොගෙවීම, නිවාඩු දිනයකින්ද තොරව දවසේ දීර්ඝ පැය ගණනක් සේවයේ යෙදීමට බලකිරීම මේ අතවර අතරවේ.

ජෝර්දානය 2003 දී ගෘහ සේවිකාවන් සඳහා සම්මත කම්කරු කොන්ත්‍රාත්තුවක් භාවිතාකරන පළමු අරාබි රට බවට පත්විය. ඉන් අනතුරුව 2008 දී ගෘහ සේවිකාවන් සදහාද රටේ සාමාන්‍ය කම්කරු නීතිය වලංගු බව ජෝර්දානය ප්‍රකාශ කළේය. දිනකට උපරිම වශයෙන් පැය 10ක් පමණක් සේවයේ යෙදීම, දිනකට අඩුම තරමින් නොකඩවා පැය අටක් විවේක ගැනීම, සතියකට අනිවාර්ය විවේක දිනයක් තිබීම සහ නොකඩවා වේතන ගෙවීම ඇතුලු කම්කරු අයිතිවාසිකම් ආරක්ෂාකිරීමේ විධිවිධාන 2009 දී ජෝර්දානය ප්‍රකාශයට පත් කළේය. 2009 දී මිනිස් ජාවාරමට එරෙහිව නීතියක් සම්මත කළ ජෝර්දානය ශ්‍රමය සූරාකෑම සදහා බලහත්කාරයෙන් සේවයේ යෙදවීම නීති විරෝධී කරන ලදී.

මේ නීති හඳුන්වාදීමෙන් පසුවත් එම නීති නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සහ ගෘහ සේවිකාවන්ට අතවර කිරීමට අනුබල ලැබෙන ආකාරයේ ඇතැම් නීති විධිවිධාන සංශෝධනය නොකිරීම, ඔවුන් තවදුරටත් අතවරවලට ලක්වීමට ප්‍රධානම හේතුව බව මෙම සංවිධාන පෙන්වාදේ. ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්  2011 ජුනි මාසයේදී සම්මත කරගන්නා ලද ඓතිහාසික ජාත්‍යන්තර සම්මුතියට ඇතුළත් අයිතිවාසිකම් සහ ජෝර්දානය විසින් ගෘහ සේවිකාවන්ට ලබාදී තිබෙන අයිතිවාසිකම් අතර බරපතල පරතරයක් තිබේ. ගෘහ සේවිකාවන්ට සාමාන්‍ය තත්ත්වයන් යටතේ සේවය කිරීමට අවස්ථාව සැලසීම සහ ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂාකිරීම මෙන්ම, ඔවුන් එසේ ආරක්ෂාකිරීම සඳහා රටේ පවතින කම්කරු නීති යොදාගැනීම අදාළ ආණ්ඩුවල වගකීමක් බව අවධාරණය කරන ගෘහ සේවිකාවන් පිළිබද ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ (ILO) ප්‍රඥප්තියට පක්ෂව ජෝර්දානය චන්දය භාවිතාකර ඇති නමුත්, එය අනුමත කර නැත.

ඉහළ වැටුප් සහිත, එතරම් දුශ්කර නැති රැකියා සොයාදෙන බව පවසමින් ගෘහ සේවිකාවන් මුලින්ම රවටනු ලබන්නේ තමන්ගේ රටේම වංචා සහගත රැකියා ඒජන්තයන් විසිනි. ඉන් අනතුරුව ජෝර්දානයට පැමිණීමෙන් පසු ගෘහ සේවිකාවෝ තවත් දුශ්කරතාවලට මුහුණදෙති. ඔවුන්ගේ ගමන් බලපත්‍ර තමන් භාර‍‍‍ය‍‍ට ගන්නා ජෝර්දානයේ රැකියා ඒජන්තයන් මේ සේවිකාවන්ට රැකියා කොන්ත්‍රාත්තුවේ පිටපතක් ලබාදීමටද අපොහොසත්වන අතර සේවයකරන නිවසට පැමිණි පසු හාම්පුතුන් විසින් ඔවුන් නිවසේ සිරකර බාහිර ලෝකය සමඟ සම්බන්ධතා පැවැත්වීමද ඔවුන්ට සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ. අතවරවලින් බේරීම සඳහා හාම්පුතුන්ගෙන් පලායන ගෘහ සේවිකාවන්ට රැකවරණ සලසන මධ්‍යස්ථානයක් ජෝර්දානයේ නොමැතිවීම හේතුවෙන් ඔවුන්ට උපකාර පතා යාමට කිසිවෙකුද නොමැත.

ගෘහ සේවිකාවන්ගේ ඔබමොබ යාමේ අයිතිය සීමාකිරීමට ජෝර්දාන නීතිය මඟින් හාම්පුතාට අවසර ලැබීම හේතුවෙන්, ගෘහ සේවිකාවන්ට දිගටම තම හාම්පුතාගේ නිවසේ රැඳීසිටීමට බලකෙරේ. ගමන් බලපත්‍රය සහ රැකියා කොන්ත්‍රාත්තුව ඇතුළු තම ලිපි ලේඛණ ලඟ තබාගැනීමට ගෘහ සේවිකාවට අවසර දිය යුතු බව නීතියෙන් සහතික කොට නොමැත. තම කොන්ත්‍රාත්තුවේ කාලය අවසන් වීමෙන් පසුවද නිදහසේ හාම්පුතා මාරුකිරීමට ජෝර්දානය ගෘහ සේවිකාවට අවසර නොදේ. ගෘහ සේවිකාවකට රටේ රැඳීසිටීම සඳහා නේවාසික වීසා බලපත්‍රයක් ලබාගැනීමට අයදුම්කලහැක්කේ හාම්පුතාට පමණක් වන නමුත් බොහෝවිට හාම්පුතුන් ඒ සඳහා අයදුම් නොකරන අතර, නේවාසික වීසා බලපත්‍රයක් නොමැතිව ජෝර්දානයේ රැඳී සිටින්නන්ට දඩගසනු ලැබේ. ගෘහ සේවිකාව සතුව වලංගු නේවාසික වීසා බලපත්‍රයක් තිබුනද, ඇය නිවසින් "පලාගිය" අයෙකු ලෙසින් හාම්පුතා විසින් ලියාපදිංචි කරනු ලැබුවහොත්, ඇයට පොලිස් අත් අඩංගුවට පත්වීමට සිදුවේ.

රටේ දැනට පවතින කම්කරු නීති නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන්, තවදුරටත් අතවර විඳීමෙන් තොරව යලි සියරට බලා යාම සඳහා අවස්ථාව සලසාගනු පිණිස ඇතැම්විට ගෘහ සේවිකාවෝ තමන්ට නොගෙවන ලද වැටුප් ලබාගැනීමට උත්සාහ දැරීම ඇතුළු තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමද අත් හැර දමති. රටේ සේවයකරන සියලුම ගෘහ සේවිකාවන් වෙනුවෙන් කම්කරු අමාත්‍යංශයේ සේවය කරන්නේ කම්කරු පරීක්ෂකයන් පස්දෙනෙකු පමණි. ගෘහ සේවිකාවන්ට අතවර කරන බවට චෝදනා එල්ලවන අවස්ථාවලදී පවා  එම නිවාසවලට ගොස් පරීක්ෂා කිරීමට තමන්ට තිබෙන බලතල එම පරීක්ෂකයෝ පස්දෙනා පවා භාවිතා නොකරති. ගෘහ සේවිකාවන් සම්බන්ධ මතභේද සඳහා වන කම්කරු උපදේශක සභාව නිසි මාර්ගෝපදේශකත්වයකින් තොරව ක්‍රියාත්මක වන අතර කිසියම් පැමිණිල්ලක් ලැබුනු විට ඒවා පරීක්ෂාකොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මාස ගණනක කාලයක් ගතවේ. එම නිර්දේශ පවා ක්‍රියාත්මක කිරීමට හාම්පුතුන් බැඳී නොසිටී. මෙම වාර්තාව සකස් කිරීම සඳහා සම්මුඛ සාකච්ඡාවලට සහභාගී කර ගන්නා ලද සේවිකාවන්, සාමාන්‍යයෙන් දිනකට පැය 16 ක් සේවය කරන නමුත්, දවසේ දීර්ඝ පැය ගණනක් සේවයෙහි යෙදීම හෝ, සතියකට දිනයක් නිවාඩුදීමට අපොහොසත්වීම, රටේ කම්කරු නීති උල්ලංඝණය කිරීමක් බව මේ පරීක්ෂකයන් විසින් වාර්තාකොට නොතිබිණි. මේ තත්ත්වය යටතේ එසේ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් හාම්පුතුන්ට දඩගැසීමට ඔවුන් අපොහොසත්ව ඇති බව නොකිවමනාය. 

ගෘහ සේවිකාවකට, ඇය අත්සන් තබන ලද වසර දෙකක කොන්ත්‍රාත්තුවට වඩා සේවයෙහි යෙදීමට බලකිරීම හෝ පඩි නොගෙවා නිවසේ සිරකර රඳවා තබා ගැනීම, බලහත්කාරයෙන් වැඩ ගැනීමක් විය හැකි අතර, ජාත්‍යන්තර නීතියට අනුව දඬුවම් කරන බවට බිය ගන්වා අකමැත්තෙන් ශ්‍රමය ලබාගැනීම බලහත්කාරයෙන් වැඩ ගැනීමක් ලෙස අර්ථ දක්‍‍වා ඇත. හාම්පුතාගෙන් පලායාම අපරාධයක් ලෙසින් සැලකීම හේතුවෙන් නිදහසේ හාම්පුතා මාරුකිරීමට හැකියාවක් නොමැතිවීම හෝ යලි සියරට පැමිණීමට නොහැකිවීම, සංක්‍රමණික බළධාරීන්ගේ දඩගැසීම්වලට ලක්වීම සහ ගමන් බලපත්‍ර අත් අඩංගුවට ගැනීම වැනි කටයුතු ඉහත සදහන්  අන්දමේ තර්ජනයන් ලෙසින් සැලකිය හැකි බව හියුමන් රයිට්ස් වොච් සහ ටම්කීන් සංවිධාන පැවසීහ.

බලහත්කාරයෙන් වැඩගැනීම සහ වැටුප් නොගෙවීම වැනි ශ්‍රමය සූරාකන අවස්ථා මිනිස් ජාවාරම ලෙසින් ජෝර්දාන නීතියෙන් අර්ථ දක්වා ඇත. ටම්කීන් සංවිධානයේ නීතිවේදීන් විසින් කරන ලද පුළුල් පරීක්ෂණවලින් අනතුරුව සොයාගත් සාක්ෂි ඇතුළත් සිදුවීම් ගණනාවකටම සම්බන්ධ ලිපිගොනු බළධාරීන්ට භාරදී තිබුණත්,  මිනිස් ජාවාරමට එරෙහි දෙපාර්තමේන්තුවේ පරීක්ෂකයන් සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ  නිළධාරීන් විසින් මිනිස් ජාවාරම ලෙස වර්ගීකරණය කොට ඇත්තේ සිදුවීම් ඉතාම අතලොස්සක් පමණි.

එක් ඉන්දුනීසියානු ගෘහ සේවිකාවකට යලි සියරට බලායාමට අවසර නොදුන් හාම්පුතා ඇගේ ගමන් බලපත්‍රයද අත් අඩංගුවට ගෙන, වේතනයද නොගෙවා වසර තුනකට අධික කාලයක් මුලුල්ලේ නිවසේ සිරකොටගෙන සිටියේය. එක් දිනක් හාම්පුතා නිවසේ යතුර දොරේ අමතකකොට ගොස් තිබුනු අවස්ථාවේ ඇය නිවසින් බේරී පලා ආ නමුත්, නීතිය පසිඳලන බලධාරීන්ට ඇය මිනිස් ජාවාරමේ ගොදුරක් නොවීය.

“නීතිවේදීන් සහ භාෂා පරිවර්තකයන්ද සමඟින්, අප විසින් අතවරවලට ගොදුරුවුනු ගෘහ සේවිකාවන් මිනිස් ජාවාරමට එරෙහි පරීක්ෂකයන් වෙත නිරන්තරයෙන් ඉදිරිපත් කළමුත්, පරීක්ෂකයන් ඔවුන් මිනිස් ජාවාරමේ ගොදුරක් බවට පත්වූවන් ලෙසින් වර්ග කළේ නැත. ඒ වෙනුවට සමහර අවස්ථාවන්හිදී නිවසින් පලයාමේ චෝදනාව මත ඇතැම් ගෘහ සේවිකාවන් බළධාරීන් විසින් රඳවාගන්නා ලදී" යැයි, ටම්කීන් සංවිධානයේ අධ්‍යක්‍ෂිකා ලින්ඩා අල්-කලාෂ් පැවසුවාය. "ආණ්ඩුවේ ක්‍රියාදාමයන් නිසා සහ ඇතැම්විට ආණ්ඩුව කිසිවක්ම නොකිරීම නිසා දරුණු අතවරවලට ලක්වූ මේ කාන්තාවන්ට උපකාර කරනු වෙනුවට ඇත්තෙන්ම සිදුවන්නේ ඔවුන් තවදුරටත් අතවරයන්ට ගොදුරු වීම" යයි  ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.

ගෘහ සේවිකාවන්ගේ ගමන් බලපත්‍ර තමන් ලග තබාගෙන, ඔවුන් නිවසෙහි දමා දොරගුලු දමන හාම්පුතුන්, එම ගෘහ සේවිකාවන් නිවසේ ගෙවන වේතනයට වඩා ඉහල වේතනයකට  නිලනොවන රැකියා වෙලඳපොලේ රැකියාවක් සොයායනු ඇතැයි යන බියෙන්, නියමිත කාල වේලාවට ඔවුන්ගේ සම්පූර්ණ වැටුප ගෙවීමද පැහැර හරී. රටේ දැනට පවතින කම්කරු නීති  නිසිපරිදි ක්‍රියාවට නැඟීම සහ ක්‍ෂේත්‍රයට අදාළව නීති සංශෝධනය කිරීම, නිලනොවන රැකියා වෙලඳපොලට පවතින ඉල්ලුම අඩුකොට මෙවැනි අතවරයන් වැලැක්වීමටද ඉවහල්වනු ඇති බව, වාර්තාව පෙන්වාදෙයි.

ජෝර්දානයට ගෘහ සේවිකාවන් සපයන රටවල ආණ්ඩුවල ක්‍රියාකලාපයද මෙම වාර්තාව මඟින් විශ්ලේෂණයට ලක් කර ඇත. විශේෂයෙන්ම ඉන්දුනීසියාව සහ පිලිපීනය, ජෝර්දානයේ සේවය කරන තම රටවල පුරවැසියන්ට පනවා ඇති තහනම් මඟින් ගෘහ සේවිකාවන්ගේ ආරක්‍ෂාව තහවුරුවී නොමැති බවද වාර්තාව පෙන්වාදෙයි. ඒ වෙනුවට තම රටවල තිබෙන රැකියා ඒජන්සි නිසි අධීක්‍ෂණයකට සහ පාලනයකට යටත්කිරීම පිලිබඳව ආණ්ඩුවල අවධානය යොමුවිය යුතු බවද හියුමන් රයිට්ස් වොච් සහ ටම්කීන් සංවිධාන පවසති.

"ජෝර්දානය ගෘහ සේවිකාවන් ගේ අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර  කම්කරු සංවිධානයේ ඓතිහාසික සම්මුතියට වහාම අත්සන් තබා එය ක්‍රියාවට නැඟිය යුතු බව," විල්ක් පැවසුවේය. "ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමෙහිලා කලාපීය පුරෝගාමියෙකු ලෙසින් ජෝර්දානය සැලකේ; දැන් එය ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැඟීම මඟින් ද එම සුවිශේශී තත්ත්වය ලබාගැනීමට ක්‍රියාකලයුතු යැයි" ඔහු කියා සිටියේය.

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Region / Country