වසර විසිපහක් මුළුල්ලේ පැවති යුද්ධය හමාර කරමින් 2009 මැයි මාසයේදී ආණ්ඩුව විසින් බෙදුම්වාදී දෙමළ විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමෙන් අනතුරුව හටගත් පශ්චාත් යුද කාලීන තත්ත්වය 2010 වසර තුළදීද දිගටම බලපැවැත්විණ. යුධ නීති උල්ලංඝනය කළ බවට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් එල්ලවන බලපෑම් උත්සන්නවීමත් සමඟම ආණ්ඩුව එයට ප්‍රතිචාර දැක්‍වුයේ මාධ්‍යවේදීන්ට සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට තර්ජනය කොට ඒ පිළිබඳ මහජන සංවාදයක් ඇතිවීම වලක්වාලමින් සහ ඉතාමත් සීමිත බලතල සහිතව තමන්‍ගේමවූ කොමිසමක් පත්කරමිනි. ශ්‍රී ලංකාව වගකීම් පැහැර ඇති බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධමයෙන් තමන්ට උපදෙස් ලබා ගැනීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් උපදේශක මණ්ඩලයක් පත්කල අවස්ථාවේ, එම කමිටුව සමඟ සහයෝගයෙන් කටයුතුකිරීම ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය.
2010 ජනවාරි මාසයේදී සහ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව පිළිවෙලින් ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පවත්වන ලදි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය පහසුවෙන් යළිත් වරක් ජයගත් අතර, පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ අති විශාල බහුතරයක් සහිතව යළි බලයට පත්වීමට හැකිවිය. ජනාධිපතිවරණයෙන් සති දෙකකට පසුව අත් අඩංගුවට ගන්නා ලද විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයාවූ හිටපු හමුදාපති සරත් ෆොන්සෙකා, හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනයේ යෙදීමේ චෝදනාවට වැරදිකරු බව පසුගිය අගෝස්තු මාසයේදී හමුදා අධිකරණයක් විසින් තීන්දු කිරීමෙන් අනතුරුව ඔහුට ජනරාල් පදවිය සහ විශ්‍රාම වැටුපද අහිමි කරන ලදි. හමුදාවට ආම්පන්න මිලදී ගැනීමේදී දූෂණවල යෙදුණ බවට එල්ල වූ චෝදනා විභාග කළ දෙවැනි හමුදා අධිකරණයද, පසුගිය සැප්තැම්බරයේදී ඔහු එම චෝදනාවන්ට වැරදිකරු බව තීන්දුකොට ඔහුට මාස 30 ක සිරදඬුවමක් නියම කරන ලදි.
පොලිස්, අධිකරණ, මැතිවරණ දෙපාර්තමේන්තුව සහ ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු වැදගත් ස්වාධීන ආයතන පාලනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට පනවා තිබූ සීමා ඉවත්කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය රාජපක්ෂ පරිපාලනයේ බලකිරීම මත පාර්ලිමේන්තුව විසින් පසුගිය සැප්තැම්බරයේදී සම්මත කෙරුණි. එම සංශෝධනය මඟින් විශේෂයෙන්ම විධායක බලතල ඇතුලු මධ්‍යම ආණ්ඩුවේ බලතල වඩාත් ශක්තිමත් කරන ලදි.
වරදට දඬුවම්දීම
යුද්ධයේ අවසාන අදියරේදී ආණ්ඩුවේ හමුදා විසින් ඉවක් බවක් නොමැතිව සාමාන්‍ය වැසියන්ට ෂෙල් ප්‍රහාර එල්ලකිරීම සහ එල්ටීටීඊය විසින් දහස් ගණන් සාමාන්‍ය වැසියන් මිනිස් පලිහක් ලෙසින් යොදාගැනීම ඇතුළු දෙපාර්ශවය විසින්ම පුළුල් වශයෙන් සිදුකළ යුධ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමෙහිලා ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් දක්වා නැත.
ආරෝග්‍යශාලා සහ ආණ්ඩුව විසින්ම ප්‍රකාශයට පත්කරන ලද "යුද මුක්ත කලාප" ඇතුළු සාමාන්‍ය වැසියන් වෙසෙන ප්‍රදේශවලට ආණ්ඩුවේ හමුදා නිරන්තරයෙන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බවට හියුමන් රයිට්ස් වොච් ඇතුළු තවත් සංවිධාන බොහෝ සාක්ෂි ඉදිරිපත් කළත්, යුද්ධයේ අවසාන අදියරේදී අණ්ඩුවේ හමුදා අතින් කිසිදු සාමාන්‍ය වැසියෙකු මරුමුවට පත්නොවූ බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු දිගින් දිගටම ප්‍රකාශ කළහ. 2009 අගභාගයේදී, යුද්ධය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳව සාක්ෂි දීමට තමන් සූදානම් බව එවකට ජනාධිපති අපේක්ෂකයාවූ හිටපු හමුදාපති ෆොන්සේකා ප්‍රකාශ කළ අවස්ථාවේ දේශද්‍රෝහිවීමේ වරදට ඔහු එල්ලා මරන බවට ආරක්ෂක ලේකම්වරයා තර්ජනය කළේය.
2010 මැයි මාසයේදී ජනාධිපති රාජපක්ෂ විසින් උගත් පාඩම් සහ සංහිඳියාව පිළිබඳ කොමිසම (එල් එල් ආර් සී) පත්කරන ලදි. අණ්ඩුව සහ එල්ටීටීය අතර 2002 දී අත්සන් තැබුණු සටන්විරාමය බිඳවැටීම පිළිබඳව සොයා බැලීම එහි මූලික අරමුණු වන අතර යුධ ගැටුම් පැවති සමය තුළ සිදුවූ බවට සැකකෙරෙන යුධ අපරාධ පිළිබඳව පරීක්ෂාකරනමෙන් විශේෂ වරමක් එල් එල් ආර් සී කොමිසමට ලබාදී නැත. එමෙන්ම මේ දක්වා පැවති කිසිම සාක්ෂි විභාගයකදී එවැනි චෝදනා පිළිබඳව විමසා බැලීමට එල් එල් ආර් සී කොමිසමද කිසිදු උනන්දුවක් දක්වා නැත.
රටතුළම අවතැන්වූ ජනතාව
නීතිවිරෝධී ලෙස, 280,000 කට ආසන්න අවතැන්වූ ජනතාවක් "සුභසාධන කඳවුරු" ලෙස ආණ්ඩුව විසින් හඳුන්වන ලද හමුදාවේ පාලනය යටතේ පවතින රැඳවුම් කඳවුරුවල රඳවාගැනීමෙන් අනතුරුව, එයින් බහුතරය 2010දී නිදහස් කෙරුණි. එසේ නිදහස ලැබ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි තම ගම්බිම්වල යළි පදිංචිවූ ජනතාවගෙන් වැඩිපිරිසකට තවමත් ආරක්ෂාව හා ජීවත්වීම පිළිබඳ බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත. මේ අතර, තමන්ගේ පැරණි නිවාසවල යළි පදිංචිවීමට නොහැකිවූ 50,000ක පමණ පිරිසක් තවමත් මෙම කඳවුරුවල වාසය කරති.
හිතුමතයට අත්අඩංගුවට ගෙන රඳවාගැනීම, පහැරගැනීම් සහ වධබන්ධන පැමිණවීම
බොහෝ අවස්ථාවල, ඉතා අපැහැදිලි නීති සහ හදිසි අවස්ථා රෙගුලාසි උපයෝගී කර ගනිමින්, එල්ටීටීඊ සටන්කරුවන් බවට සැලකෙන 7000 කට ආසන්න පිරිසක්, ආණ්ඩුව කිසිදු නඩු විභාගයකින් තොරව තවදුරටත් රඳවාගෙන සිටී. රැඳවියන් හමුවීමට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට අවසර ලබාදී නොමැත. ඔවුන් රඳවා ඇති කඳවුරුවල තත්ත්‍වය හෝ ඔවුන්ට සලකන අන්දම පිළිබද ලැබී ඇති තොරතුරුද ඉතා සීමිතය. පවුලේ සාමාජිකයන් හමුවීම සඳහා රැඳවියන්ට අවසර ලැබෙන නමුත් ඔවුන්ට නීතිවේදීන්ගේ සහාය ලබාගැනීමට අවසර ලැබී නොමැත. ඇතැම් හදිසි අවස්ථා රෙගුලාසි ඉවත්කොට ඇතිබව ආණ්ඩුව අවධාරණය කරන මුත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යොදාගනිමින් සාමාන්‍ය නීතිය යටතේ රැඳවියන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරයෙන් බැහැර වීමට ආරක්ෂක හමුදාවලට අවකාශය සලසා දී තිබේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල අලුතින් පැහැර ගැනීම් සහ අතුරුදහන් කරවීම් සිදුවූ බව 2010 වසර තුළදීත් වාර්තා විය. මේ අතුරින් සමහරක් දේශපාලන පක්ෂවලට සම්බන්ධ බවට චෝදනා එල්ලවී අති අතර, තවත් සමහරක් අපරාධ කල්ලි විසින් සිදුකරන ලද බවට සැක කෙරේ. උතුරේ ඇතැම් ප්‍රදේශවලට පිවිසීම ආණ්ඩුව විසින් සීමාකොට ඇති හෙයින් මෙම චෝදනා පිළිබඳ විමසා බැලීම ඉතා අසීරු කරුණක් වී ඇත. යුද්ධය අවසානයේදී ආණ්ඩුවේ අත්අඩංගුවේ සිටි බවට විශ්වාස කෙරෙන තම ඥාතීන් දැන් අතුරුදහන් වී ඇති බවත්, ඔවුන් මියගොස් ඇතැයි තමන් විශ්වාස කරන බවත් අතැම් රැඳවියන්ගේ ඥාතීන් එල් එල් ආර් සී කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් කියාසිටියහ.
තවදුරටත් ක්‍රියාත්මකවන හදිසි අවස්ථා රෙගුලාසි සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මඟින් අත්අඩංගුවේ රඳවාසිටින සැකකරුවන් සම්බන්ධයෙන් පොලීසියට පුළුල් බලතල ලබාදී තිබේ. අත්අඩංගුවේ සිටින රැඳවියන්ට වධබන්ධන පැමිණවීම හා ඇතැම්විට ඝාතනය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන කුප්‍රකට ඉතිහාසයක් තිබේ. ජනවාරි මාසයේ වාර්තාවූ එක් ඇඟ කිළිපොලායන සිදුවීමකදී, බන්ධනාගාරයෙන් පලාගිය සිරකරුවෙකුට පොලීසිය මැරෙන තුරු පහරදෙන අන්දම වීඩියෝ කැමරාවක සටහන් වී තිබේ.
සිවිල් සමාජයට එල්ලවන ප්‍රහාර
2010 දීත් නිදහස් අදහස් ප්‍රකාශනයට ප්‍රහාර එල්ල විය. විශේෂයෙන් මැතිවරණ පැවැත්වුණ සමයේදී නිදහස් සහ විරුද්ධ පක්ෂ මාධ්‍යවලට දැඩි පීඩනයක් එල්ල කෙරුණි. මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගනිමින් ප්‍රශ්න කිරීමේ යෙදුණු ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රවෘත්ති සපයන වෙබ් අඩවිවලට බාධාකරමින් විරුද්ධ පක්ෂවල උද්ඝෝෂණ වාර්තා කරන මාධ්‍යවේදීන්ට පහර දීමටද ක්‍රියා කළේය.
විරුද්ධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ ප්‍රවෘත්ති ආයතන නිරන්තරයෙන් ප්‍රබල ප්‍රහාරවලට ලක්විය. විරුද්ධ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණට (JVP) හිතවාදී බව නිරන්තරයෙන් දක්නට ලැබුණ ඉංග්‍රීසි, දෙමළ සහ සිංහල භාෂාවලින් ප්‍රවෘත්ති පළ කරන ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය විශේෂයෙන්ම ආණ්ඩුවේ දඩයමට ලක්විය. ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට සම්බන්ධව සිටි ප්‍රගීත් එක්නැලිගොඩ ජනවාරි 24 වෙනිදා තම කාර්යාලයෙන් පිටතට ගියපසු මෙතෙක් ආගිය අතක් නැත.
ජනාධිපතිවරණය පැවැත්වුණ ජනවාරි 26 වෙනි දිනසිට දින කිහිපයක් මුළුල්ලේ ආණ්ඩුවේ පාලනය යටතේ පවතින ශ්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල පහසුකම් සපයන ආයතනය විසින් වසාදමන ලද ප්‍රවෘත්ති වෙබ් අඩවි හය අතරට ලංකා ඊ නිවුස් වෙබ් අඩවියද ඇතුළත් විය. වෙබ් අඩවි වාරණය කිරීම ඉවත් කරන මෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියෝග කිරීමෙන් අනතුරුව ද ලංකා ඊ නිවුස් හි සංස්කාරක සඳරුවන් සේනාධීරට තර්ජන සහ බියගැන්වීම්වලට මුහුණදීමට සිදුවිය. ඔහු පැහැරගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ දැරීම නිසා, සේනාධීරට සිදුවූයේ සැඟව පලායාමටයි.
සති දෙකකට වරක් පළවන ජනතා විමුක්ති පෙරමුණට අයත් ඉරිදා ලංකා පුවත්පතද ආණ්ඩුවේ දඩයමට ලක්විය. ජනවාරි 29 වැනිදින පොලීසිය, ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති සංස්කාරක චන්දන සිරිමල්වත්ත සහ තවත් සංස්කරණ සහායකයන් දෙදෙනෙකුගෙන් ඊට ආසන්න දිනයක ප්‍රකාශයට පත්කරන ලද ලිපියක් පිළිබඳව ප්‍රශ්න කරන ලදි. අත්අඩංගුවට ගෙන පැය කිහිපයකට පසුව පොලීසිය සංස්කරණ සහායකයන් දෙදෙනා නිදහස් කළ මුත්, සිරිමල්වත්තව දින 18ක් මුළුල්ලේ කිසිදු චෝදනාවකින් තොරව රඳවාගන්නා ලදි. අධිකරණය විසින් යළි විවෘත කරනමෙන් නියෝග කරන තුරු පොලීසිය විසින් ඉරිදා ලංකා පුවත්පත් කාර්යාලයටද මුද්‍රා තබන ලදි.
ජනවාරි මාසයේ පැවැත්වුන මැතිවරණයෙන් අනතුරුව ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන් 20කට ආසන්න පිරිසක් තමන්‍ගේ ආරක්ෂාව පිණිස සැඟව ගියහ. මෑත යුගයේදී රටින් පලාගිය දුසිම් ගණනාවක්වූ මාධ්‍යවේදීන්ට එක්වෙමින් අඩුම තරමින් තවත් මාධ්‍යවේදීන් සිවුදෙනෙකුවත් රට හැර ගොස් ඇත.
විරුද්ධ පක්ෂවල සාමාජිකයන් හා ආධාරකරුවන් අත් අඩංගුවට ගැනීම සහ හිරිහැර කිරීම
රාජපක්ෂට දේශපාලන වශයෙන් අභියෝග කිරීමට 2009 නොවැම්බරයේ දී හදිසියෙන්ම සරත් ෆොන්සේකා ඉදිරිපත්වීමත් සමඟම විරුද්ධ පක්ෂයට නව ජවයක් ලබාදෙමින්, ඉතා ලෙහෙසියෙන් එකට එක්නොවන වාමාංශික සිංහල ජාතිකවාදී ජනතා විමුක්ති පෙරමුණ සහ දක්ෂිණාංශයට ළැදි එක්සත් ජාතික පක්ෂය එක් පෙරමුණකට එක්වෙන ලදි. කලින් එල්ටීටීඊයට ළැදි බවක් දැක්වූ දෙමළ ජාතික සන්ධානය ද ෆොන්සේකාට සහාය දැක්වීමට ඉදිරිපත් විය. රාජපක්ෂ විශාල වැඩි ඡන්දයකින් මැතිවරණය ජයගත් නමුත්, ෆොන්සේකා පමණක් නොව ආණ්ඩුවට විරුද්ධ ඕනෑම හඬකට තිබුණු ඉඩ අහුරාලමින් රාජපක්ෂ පරිපාලනය ෆොන්සේකා සහ ඔහුගේ ආධාරකරුවන් මර්දනය කිරීම ආරම්භ කළේය.
ජනවාරි මාසයේ පැවැත්වුණ මැතිවරණයෙන් අනතුරුව විරුද්ධ පක්ෂයේ කාර්යාල වැටලූ ආණ්ඩුව ෆොන්සේකා සහ එම කාර්යාලවල සේවය කළ සේවකයන් විශාල ගණනක් අත්අඩංගුවට ගත්තේය. ආරක්ෂක හමුදා විසින් මැතිවරණ දින රාත්‍රියේ ෆොන්සේකාගේ කාර්ය මණ්ඩලය රැඳී සිටි හෝටලය වැටලූ අවස්ථාවේ ඇතැමුන් අත් අඩංගුවට ගැනුණහ. කාර්ය මණ්ඩලයේ සිටි තවත් 13 දෙනෙකු පසුව අත් අඩංගුවට ගනු ලැබූ අතර හමුදා කැරැල්ලක් දියත්කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනාවක්ද ඔවුන්ට එරෙහිව එල්ල කරන ලදී.
ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන ප්‍රධාන ජාත්‍යන්තර බලවේග
ඇමෙරිකා එක්සත් ජනපදය, ඇතැම් යුරෝපීය ආණ්ඩු සහ අන්තර්-රාජ්‍ය සංවිධානවලින් දිගින් දිගටම එල්ලවූ බලපෑම් පසුගිය මැයි මාසයේදී එල් එල් ආර් සී කොමිසම පත්කිරීමේ ආණ්ඩුවේ තීරණයට බලපෑවේය. ඉන්දියාව සහ ජපානය ඇතුළු බලපෑමක් කළ හැකි අනෙක් රටවල් "ඉවසා බලාසිටීමේ" ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, යුක්තිය ඉටුකිරීම සඳහා වැදගත් ක්‍රියාමාර්ගවලට එලඹෙන මෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට අපොහොසත් විය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගිය අගෝස්තුවේදී නිකුත්කරන ලද වාර්තාවක් මඟින් ආණ්ඩුව සතු වගකීම් ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව ප්‍රකාශ කෙරුණ අතර, එල් එල් ආර් සී කොමිසමේ දුර්වලතා ඇති බවද සඳහන් විය. එල් එල් ආර් සී කොමිසමට ලබා දී ඇත්තේ සීමිත බලතල බවත්, එහි අපක්ෂපාතිභාවය පිළිබඳ ගැටලු ඇති බවත් සඳහන් කරමින් එය ඉදිරියේ සාක්ෂි දෙන මෙන් ඉදිරිපත් වූ ආරාධනාවක් හියුමන් රයිට්ස් වොච්, ඇම්නස්ටි ජාත්‍යන්තරය සහ ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප් සංවිධාන විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ප්‍රතික්ෂේප කෙරුණි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ යුද්ධය සිදු වූ අන්දම පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව අගමැති ඩේවිඩ් කැමරන් ඔක්තෝම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් කලින් එල් එල් ආර් සී කොමිසම පිළිබඳ ප්‍රසංශා මුඛයෙන් කරන ලද සඳහන ඉවත්කරගැනීමක් ලෙසින්ද සැලකිය හැක.
ශ්‍රී ලංකාවේ යුද්ධයට අදාළව එල්ලවී ඇති චෝදනා පිළිබඳව තමන්ට උපදෙස් දීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් ජුනි මාසයේදී ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලදි. අලුතින් පත්කරන ලද එම කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රසිද්ධියේ විවේචනය කරන ලදී. ජුලි මාසය මුලදී කමිටුවට එරෙහිව කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපස නිවාස ඇමති විමල් වීරවංශගේ නායකත්වයෙන් ආරම්භවූ උද්ඝෝෂණයක් අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සේවකයන්ට තම කාර්යාලය තුළට යෑම වැළක් වීමටද උද්ඝෝෂකයෝ පියවර ගත්හ. දින කිහිපයකට පසුව බැන් කි මූන් විසින් කොළඹ සිටින තම නේවාසික නියෝජිතයා නිව්යෝර්ක් නුවරට යලි කැඳවීමෙන් පසු, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැදිහත්වී උද්ඝොෂණය නතරකරන ලදි.
ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් අවතැන්වූ ජනතාවට මානවීය ආධාර ලබා දීම සඳහා අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා මාර්ගයෙන් යෙන් මිලියන 100 (ඇමෙරිකානු ඩොලර් මිලියන 1.23) ක මුදලක් ප්‍රදානය කරන බව ජුනි මාසයේදී ජපානය නිවේදනය කළේය. මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්‍ගේ ප්‍රඥප්ති තුනක් නිසිපරිදි ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව අපොහොසත්වී ඇතිබව හඳුනාගැනීමෙන් අනතුරුව, ජී. එස්. පී. ප්ලස් නමින් හැඳින්වෙන වරණීය බදු සහනය අගෝස්තු මාසයේ මැද සිට ඉවත්කිරීමට ජුලි මාසයේ දී යුරෝපා සංගමය තීරණය කළේය. එම තීන්දුව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට බාහිර ඇඟිලිගැසීමක් ලෙසින් විග්‍රහ කළ ආණ්ඩුව බදු සහනය අහිමිවීම තමන්ට බරපතල පාඩුවක් නොවන බවද කියාසිටියේය.
තම දූත කණ්ඩායමක් සති දෙකක් පුරා ශ්‍රී ලංකාවේ කළ සංචාරයකින් අනතුරුව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.6 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීම අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සැප්තැම්බර් මාසයේදී නිවේදනය කළේය.